Wednesday, June 4, 2025
ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණය හමුවේ නඩු පැවරුණු මෙරට පළමු ක්‍රිකට් ක්‍රීඩකයා
2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රීමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා හම්බන්තොට මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.
ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්විමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව තරග පාවාදීමේ චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩු පැවරුණු පළමු අවස්ථාව මෙය බව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
එමෙන්ම තරග පාවාදීමේ චෝදනා යටතේ අපරාධ නීතිය යටතේ දකුණු ආසියාවේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව අධිකරණයක නඩු පැවරුණු 'ප්‍රථම අවස්ථාව මෙය විය හැකි බවද' ඔහු පැවසීය.
2020 වසරේ නොවැම්බර් මස 21 සහ එම මස 22 වනදා අතර කාල සීමාව තුළ මුරුසී දිවයිනේදී සහ හම්බන්තොටදී ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලයට බලපෑමක් ඇති කළ හැකි අයුරින් එම තරගාවලියට සහභාගි වූ කලම්බු කින්ග්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබූ තරිඳු රත්නායකට තරග පාවාදීම සඳහා වෙනත් පාර්ශවයක් ඉදිරිපත් කළ යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයට දැනුම් නොදෙන ලෙස ඔහුගෙන් අයැද සිටීම, ඔහුව පෙළඹවීම සහ ඊට අවශ්‍ය උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්විමේ පනත යටතේ සචිත්‍ර සේනානායකට නීතිපතිවරයා චෝදනා නඟා තිබේ.
ඊට අමතරව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති "ෂහීඩ්" නමැති අයෙකු තරිඳු රත්නායක නමැති ක්‍රීඩකයා අමතමින්" already spoke to the management. You will get games, and you have to give something for them too ok" යනුවෙන් කළ දැනුම් දීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය වෙත පැමිණිලි කිරීම වැළැක්වීමට කටයුතු කර ඇති බවට සචිත්‍ර සේනානායකට එරෙහිව එල්ලකර ඇති චෝදනාවේ සඳහන් වේ.
ඒ අනුව 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ 5 ඈ වගන්තිය යටතේ ඔහුට චෝදනා එල්ල කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව එම ඒකකයේ උපදෙස් මත මෙරට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන අංශය සචිත්‍ර සේනානායක මෑතකදී අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ඉන් අනතුරුව අධිකරණය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප මත මුදා හරින ලදී.
එම සිද්ධියට අදාළව ලැබුණු වෝහාරික සාක්ෂි සහ අනෙකුත් සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධනගේ මෙහෙයවීම යටතේ මෙම නඩු පැවරීම සිදුකර තිබේ.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment